Friday, August 7, 2015

AudioRead - ඉංග්‍රීසි කියවීම හුරු කරගන්න..



වයස වසර දෙකේදි විතර
Jurassic Park බලපු කාලෙ ඉඳලා
පුතා ඩයිනොසෝර්ලාට ආසයි.
ඔහු Jurassic Park චිත්‍රපටිය නිතර නිතර බැලුවා.
ඩයිනොසෝර්ලගෙ ගමන් අනුකරණය කළා..
සෙල්ලම් බඩු එකතු කළා. රූප එකතු කළා.
මේ ඇල්ම මත ඔහු කියවන්න හුරු කර ගැනීමට
අපි බලාපොරොත්තු වුණා.



ඒ කාලෙම වගේ BMICH ප්‍රදර්ශනයෙන්
පුතා ලොකු පොතක් ගත්තා.

Download

ඔහු ඩයිනෝසෝර් පොත් කීපයක් ගත්තා.
ජෙහාන් අයියගෙ පොත්
පොඩි නැන්දාත් ගෙනත් දුන්නා.

ඔහු කියවාවි කියන බලාපොරොත්තුවෙන්
අපිත් ඩයිනෝසෝර් පොත් අරන් දුන්නා.

නොයෙක් දිරිගැන්වීම් වලින් පසු
පොත් කියවන්න පුලුවන් වුණත්
තැන් තැන්වලින් කියවනවා විතරයි.

පොතම කියවන්න කියා නියම කරලා
වෙනත් නොයෙක් සිංහල, ඉංග්‍රීසි පොත්
වරින් වර කියවන්න හුරුකළා.
කියවීම දියුණු වුවත්
තනිවම කියවන්න තරම්
දියුණු වුණේ නෑ.

පළමු වතාවට
අද ඔහු එක පොතක් මුල ඉඳලා
කියවමින් සිටියා.
Dinosaurs
Michael Benton Kingfisher books

ඒ වෙලාවෙ
දෝණි කැස්පර් චිත්‍රකතා පොතක රූප බලන නිසා
තේරුණේ නැතත් හැම දෙබසක්ම කියවන්න
කියා මම ඇයට කිව්වා.


චිත්‍රකතා පොත් කියෙව්ව නිසා
ඔහුට කියවීම පහසු වුණා කියල
ඒ වෙලාවෙ පුතා කිව්වා
.
ඒත්
ඔහු ඊළඟ මොහොතෙ කිව්වා
"නැහැ... Audio Book කියවපු නිසා" කියලා.

ඔහු මෙතෙක් කියෙව්වෙ එක Audio Book එකක් විතරයි.



මේ Audio Book හඬ පටය සමග
සර් ආතර් කොනන් ඩොයිල්ගේ
The Lost World
පිටු 264ක පොත ඔහු කියෙව්වා.

 

කියවීමට ඇති නොකැමැත්ත දුරුවෙන්න
ඒ පොත ඔහුට ආධාර වුණේ
අපේ හෝ ගුරුවරුන්ගේ මැදිහත්වීමක් නැතිවයි.


මේ ක්‍රමය විමසා බලන්න.

AudioRead - ඉංග්‍රීසි කියවීම හුරු කරගන්න පහසු ක්‍රමයක්


Wednesday, August 5, 2015

පාසල් නිවාඩුව ඇවිත්. -බුදුදහමෙ හරය ඉගෙන ගැනීමට...



පාසල් නිවාඩුව ඇවිත්.
දැන් වසර කීපයක ඉඳන්
පුතාත්, දෝණිත් නිවාඩු දවස පටන් ගන්නෙ
බුදුදහමෙ හරය ඉගෙන ගැනීමෙන්.
පඤ්චස්ඛන්දය, නීවරණ, පටිච්ච සමුප්පාදය ආදිය
අත්දැකීම් වලට සම්බන්ධව දැනගන්නට
කලක් තිස්සේ ඔවුන්ට හුරු වුණා.

බොහෝ විට,
ඉතාම හෙමින්, ඔවුන්ගෙන් ප්‍රශ්න අසමින්,
ඔවුන් තුලින්ම දැනගන්න සලස්වමින්
දැනුමට වඩා අත්දැකීමට සමීප කළා.

දැනුම වචන විදියට මතක තබාගන්නට
කිසිසේත්ම ඔවුන් උනන්දු කළේ නෑ.
පාලි වචන මතක තියාගන්න පුරුදු කළා.

"මේ දේවල් ඉගෙන ගැනීමත්
පාසලේදි කරන ඉගෙන ගැනීමත් අතර
වෙනස මොකක්ද." කියා මා විමසුවා.

"ආස හිතෙනවා "දෝණි කිව්වා.
"ඒ ඉගෙන ගන්න දේවල් වැඩක් නෑ
කියලා හිතෙනවා" පුතා කිව්වා.

"ඒ හින්දා තමයි,
බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ
සබ්බ ධම්ම රසං ජිනාති, කියලා.
හැම රසයක්ම පරදවලා
ධම්ම රසය දිනනවා." මම කිව්වා.

"ඒක ඇත්ත."පුතා සරලව කිව්වා.

"ඒ දේවල් වලට ආස වුණත්
අපට වැඩක් නෑ කියල හිතෙනවා."
ඔහු එකතු කළා.

"ඇයි මේ දේවල්
ඉස්කෝල වල උගන්වන්නෙ නැත්තෙ?"
කියලා පුතා ඇහුවා.

"උගන්වන්න තමන් රස විඳලා
තියෙන්න එපායැ"
වෙනත් හේතුවක් ඇත්තටම නැහැ.

අද නැවතත්
පඤ්චස්කන්දය විමසා බැලීම ඇරඹුවා.
ඔවුන් දෙදෙනාටම පඤ්චස්කන්දය මතකයි.

ඵස්ස, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ.

අපි අද ඉගෙනගන්නෙ ඵස්ස - ස්පර්ශය.

ස්පර්ශයක් දැනෙන්න නම්
කරුණු තුනක් සම්පූර්ණ විය යුතුයි.

1, ඇස
2, රූප
3, ඇසේ දැනීම.
මේ තුන නිසා ස්පර්ශය උපදී.

ඇසත් රූපයත් හමුවීමෙන්
ඇසේ දැනීම ඇතිවෙනවා.
මේ තුන එක්වීම ස්පර්ශයයි.

1, චක්ඛු
2, රූපං
3, චක්ඛු විඤ්ඤාණ

චක්‌ඛුඤ්‌ච පටිච්ච රූපෙව උප්පජ්ජති
චක්‍ඛු විඤ්ඤාණං
තිණ්ණං සංගති ඵස්සො.

පළවෙනි ආයතනය කියල දෙන විටම
"මේ ටික ලියාගන්න ඕන" කියා පුතා කිව්වා.
ඒ උවමනාව ඔහු තුළින්ම එනතුරු
මම ඔවුන්ට වචන ලියාගන්න කිව්වෙ නෑ.

මේ ආකාරයට
එකින් එක මගෙන් විමසමින්
ඔවුන් ආයතන හයටම සම්බන්ධ
වචන මාලාව සටහන් කරගත්තා.

ඔවුන් දන්න මිතුරන්ට, නෑසියන්ට
මේ ට්ක කියා දෙන්න කියා මම ඔවුන්ට කිව්වා.

"මම කියල දෙන්න හදනවා.
කවුරුවත් අහන් ඉන්නෙ නෑ" පුතා කිව්වා.

"අහන් ඉන්න කෙනෙක් ලැබුණාම කියන්න."

මම වැඩියෙන්ම දහම ඉගෙන ගත්තෙ
මේ දෙන්නට කියාදෙන්න
ගතකළ වෙලාවන් වලදියි.

මේ අපි හමුවුණ පළමු වතාව නොවෙයි...
මම හිතනවා.


Sunday, July 26, 2015

Sanjay at School.



Sanjay
reading a poem on the English day
12th July 2015
Cambridge International School
Anuradhapura




Tuesday, June 23, 2015

අපි කියවන පොත්

මේ දිනවල
ව්ලදිමීර් බොගොමොලොව්ගේ
ඉවාන් නම් පොත
බිරිඳ කියවමින් ඉන්නවා.
ඇය පොත ආරම්භයේදිම
එහි සඳහන් වෙන අපූරු කොලුවා ගැන
ඉතාම උද්‍යෝගයෙන් විස්තර කිව්වා.
ඇගේ විස්තරයට අනුව
පාඨකයාගේ කුතුහලය දියුණු වෙන විදියට
ලේඛකයා සිදුවීම ගොඩ නගා ඇති අයුරුත්
චරිත නිරූපනය කර ඇති ආකාරයත්
විශිෂ්ඨයි..
කොලුවා කඳවුරට පැමිණි බව
දුරකථනයෙන් දැනුම් දෙන කපිතාන් සහ
ඔහුගේ ඉහළ නිලධාරියාත් අතර
හුවමාරුවෙන දෙබස් ඛණ්ඩ දෙක තුනෙන්
ඒ චරිත දෙක පිළිබඳව
හොඳ රූපයක් මැවෙනවා.
ඔහු වෙනත් තැනක සිටීම
කතුවරයාට ගැටළුවක් නොවෙයි.
ඉහල නිළධාරියාගේ
නුරුස්සන සුළු නොසැලකිලිමත් බව
ඉතා හොඳින් අපට දැනෙනවා.
කතාවෙහි කිසියම් මූසල ස්වභාවයක් දක්නට ලැබුණ නිසා
කොලුවා මැරෙනු ඇතැයි බිරිඳ සිතා තියනවා.
එහි එක් චරිතයක් වෙඩි වැදී මිය යනවා.
ඔහු කොලුවාට ඉතා සමීප කෙනෙක්.
ඒ මූසල ස්වභාවයට හේතුව
මේ චරිතය මිය යන්නට තිබීම විය හැකියයි
ඇය පවසනවා.
මා පොතේ මැද හරියෙන්
පිටු කිහිපයක් කියවන විට
මේ ඡේදය මා දුටුවා.
-------------------
අපි සීනි අහුරු දෙක බැගින් කටට දමාගෙන හැපුවෙමු. එය අපේ ඇසීමේ හා පෙනීමේ ශක්තිය තියුණු කිරීමට හේතු වී.
ඉදිරියෙන් මැෂින් තුවක්කු වෙඩි වැලක් පුපුරා හැලෙන්නට ගන්නා විට අප ගඟ මැදට ආවා පමණි. අප වටේට ඉතා සමීපයෙන් උණ්ඩ ඉගිලී ගියේ ජලතලය සිප ගනිමින් සිහින් ජලබිඳු විසුරුවා ලමිනි.
''ඒ. එම්. ජී. තිස් හතර'' මට තුරුල්වන ගමන් ළමයා ස්ථිර හඬින් කීය.
"බයවුණාද?
"චුට්ටක්" ඇසෙන නෑසෙන තරම් හෙමිහිට ඔහු පිළිගත්තේය. "මට හරිම අමාරුයි ඒකට හුරුවෙන්න න. මං හිතන්නෙ ස්නායු දුර්වලකම" සමාව අයදින ස්වරයකින් ඔහු යළි මෙසේ කීවේය. "අනේ මට ඔය වෙඩි වලට නම් හුරුවෙන්නම බෑ. හරිම පිළිකුල්" මෙසේ බියපත්ව අයදින්නට සිදුවීම තුලින් මෙවැනි අභිමානවත් දරුවෙකුට මොනතරම් ලැජ්ජාවක් දැනේද යන්න මට පහසුවෙන් සිතාගත හැක.
--------------------------------
ඉහත ඡේදය කියවීමෙන් පමණක්
කොලුවාගේ චරිතය ගැනත්
කතාව කියන්නාගේ කොලුවාට ඇති බැඳීම,
ආදරය, ගෞරවය ආදී තොරතුරු රැසක් අපට හෙළිවෙයි.
නූතන නවකතා රචකයෙක් නම්
මේ උතුම් සබඳතාවය
සමලිංගික සබඳතාවයක් බවට පත්කොට
පොතත් පාඨකයාත් දූෂණය කරන්නට
අවකාශ තිබුණා.
දූෂිත සිත් ඇති පාඨකයින්
පොත රස කරමින් කියවන්නටත් ඉඩ තිබුණා.
ඇසෙන නෑසෙන තරම් හෙමිහිට
සමාව අයදින ස්වරයකින්
රුසියානු කතාවන්හි දක්නට ලැබෙන
මෙවැනි කුඩා යෙදුම් වලින්
ඒ චරිතවලට ලැබෙන ආලෝකය මහත්ය.
"චුට්ටක්" ඇසෙන නෑසෙන තරම් හෙමිහිට ඔහු පිළිගත්තේය.
මේ වැකිය වෙනුවට
"චුට්ටක්" ඔහු කීවේය.
කියා ලියන්නත් තිබුණා.
ඔහු යමක් අකමැත්තෙන් පිළිගත්තා කියද්දි
ඔහු කිව්වා කියනවාට වඩා හොඳ
උණුසුම් චිත්ත රූපයක්
අපේ සිත්වල මැවෙනවා.
මේ චිත්ත රූප මැවීම
රචකයාගේ දක්ෂ කමයි.
ඒ චිත්ත රූපවල සැර බාල නොකොට
අපහසුවකින් තොරව අප සිත් තුළ මවන්නට
චූලානන්ද සමරනායකගේ
විශිෂ්ඨ පරිවර්තන ශෛලිය
ප්‍රබල හේතුවක් වෙනවා.
සිරිල් සී පෙරේරා, මුනිදාස සෙනරත් යාපා,
වැන්නවුන්ගේ ශෛලිවල අප දකින
ගෞරවණීය බවට සමීප විය හැකි
මුල් කෘතියක් මෙන් දැනෙන
සරල, සුගම මෙන්ම පිරිපුන් බවක්
චූලානන්දගේ පරිවර්තනවල
දක්නට ලැබෙනවා.
මේ ලේඛකයාගේ නවකතාවක් වන
The Moment of Truth ලියද්දී
සටහන් ලේඛන 24679ක් පරිශීලනය කොට තිබීම
ලේඛකයාගේ කැපවීම පිළිබඳව
ඉතා ප්‍රබල සලකුණක්.
පරිවර්තනය කරන්නට
ගැලපෙන කෘති තෝරාගැනීමද
පරිවර්තකයෙකුගේ විශේෂත්වයක්.
ප්‍රකාශක ජනක ඉණිමංකඩත්
මේ සාර්ථකත්වයට රුකුලක් වෙන්නට ඇති.
"මේක දැක්කාම මට හමුදාවට යන්න හිතෙනවා''
වරක් බිරිඳ ආවේග ශීලීව කීවාය..
"මේකෙ තියන දේවල් හරිම මානුෂිකයි"

=================================

Ajitha Edirisinghe
[[අතුල පොත් බලන්නේ බිරිඳගේ ඇස් වලින්ද? ]]]
  ඔව්...
පොතක් මුලින්ම දකින්නෙ
ඇගේ ඇස් වලින්..
පොත කියවන්නෙ ඇය නිසා.
ඇය මට ඉදිරිපත් කරන ටික ගැන
මට මගේ දැක්මක් තියනවා..
ඊට පස්සෙ
අපි අපේ දැක්ම සසඳනවා.
දෙදෙනාම පෝෂණය වෙනවා.

මම කියවන්න පටන් ගත්තෙ
අවුරුදු තුනේදි.
පොඩිකාලෙ ඉඳලා
අවුරුදු දහනවයෙදි
චිත්‍ර අඳින්න යොමුවෙන තුරු
පාරෙ යන ගමනුත් පොත් කියෙව්වා.
ඒ කාලෙ පොත් තේරුවෙ නෑ.

චිත්‍ර අඳින්න පටන් ගත්තට පස්සෙ
පොතක් කියෙව්වෙ
පොත විශේෂ නම් විතරයි.
මම කියවන්න පටන් ගත්තෙ
අවුරුදු තුනේදි.
පොඩිකාලෙ ඉඳලා
අවුරුදු දහනවයෙදි
චිත්‍ර අඳින්න යොමුවෙන තුරු
පාරෙ යන ගමනුත් පොත් කියෙව්වා.
ඒ කාලෙ පොත් තේරුවෙ නෑ.
චිත්‍ර අඳින්න පටන් ගත්තට පස්සෙ
පොතක් කියෙව්වෙ විශේෂ නම් විතරයි.

බිරිඳත් කුඩා කාලයේ සිටම
පොත් කියවීමට ඇබ්බැහි වූ කෙනෙක්.
ඇය වාර්ෂික පොත් ප්‍රදර්ශනයෙන්
අවුරුද්දටම සෑහෙන්න පොත් ගන්නවා.

දැන් පොත් කියවීම හොඳටම අඩු වුණාට
පොත් කියවීමෙන් එදා ලද තෘප්තිය
අදටත් මම විඳිනවා.
එදාටත් වඩා විඳිනවා කියා
කිව හැකියි..

මා මෙන්ම බිරිඳත්
පොතක කතාවට වැඩිය රස විඳින්නෙ
චරිත ලක්ෂණ, ඔවුන් විඳින හැඟීම්
සහ ඔවුන් ජීවිතයට ප්‍රතිචාර දක්වන විදියයි..

පොතක් හොඳ නම්, නැත්නම් නරක නම්
ඇය ඒ පොත ගැන නිතර කියනවා.
ඇය ඇගේ අදහස කියන්නට පෙර
පොතේ අදාළ කොටස කියනවා.
නැත්නම් මම කියවනවා.

ඇයට ගැටළු සහගත,
සංකා සහිත තැනක් ආවොත්
අපි කතා කරනවා.

ඇය පොතක් කියවද්දි
මා සමග කතා කරන්නෙ
අපි දෙන්නම අගය කරන සිදුවීම්,
සහ චරිත නිරූපනය...
ලේඛකයා ඔහුට අවශ්‍ය දේ කරගන්නට
භාවිතා කර ඇති උපක්‍රම සමග
ඔහුගෙ චරිතය, ගුණාංග ආදිය
පොතට බලපා ඇති අන්දමත්
අපි කතා කරනවා.

චිත්‍රකතා අඳින චිත්‍රශිල්පියෙක් විදියට
මේ සාකච්ඡා වෘත්තීයමය වශයෙනුත්
මට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා.

මේ සටහන් වල තියෙන්නෙ
අපි දෙදෙනාම එකඟ වෙන කරුණු
කියලා කිව්වොත් නිවැරදියි.

සැලකිල්ලෙන් කියවන කෙනෙකුට අවශ්‍ය නම්
මගේ තනි අදහස් වෙන් කරගන්න පුලුවන්..

Monday, June 15, 2015

පුතාට ජීවන මාර්ගයක් .....



අපේ ළඟ තියනවා,
ගෙදර එකතුවෙන කේබල් වර්ග එකතු කරපු
පරණ ට්‍රැවලින් බෑග් එකක්.

එක zසිප් එකක් හිර වෙනවා.
තව එකක් එකතු වෙන්නෙ නෑ.

හිරවුණ zසිප් එකට තෙල් ගාන්න ඕන කියලා
පුතා කිව්වා.
ඔය ප්‍රශ්නෙ
මට කොයිතරම් වාර ගානක් ඇවිත් ඇත්ද?
ඔය විසඳුම මට ඇවිත් නෑ.

අනික් zසිප් එක හදන්න නම්
කෙළවරේ මැස්ම ගලවලා
නැවත දාන්න ඕන කිව්වා.
පුතා ඒක ගැලෙව්වා.
මමත් උදව් වෙලා හැදුවා.

මේ වගේ වෙලාවට
පුතාගෙ හිතේ ශක්තිය
එක තැනකට නාභිගත වෙන විදිය
හරිම අපූරුයි..

ඉගෙන නොගත්තත්
පුතාට ජීවන මාර්ගයක් නම්
නැති වෙන්නෙ නෑ කියල
මේ වගේ අවස්ථාවල් වලදි මට හිතෙනවා.

අනේ බෝ කොලේ...

අපේ මිදුලෙ තියනවා...
පෝච්චියක ඉන්දපු බෝ පැලයක්.

දෝණිගෙ ඔලුවෙ බෝ කොලයක් ගෑවිලා.
දෝණි කිව්වලු....
"අනේ කොණ්ඩෙත් අතගාන හැටි
බෝ කොලේ... "

හයිකු ගතියයි.


======================================

මූලාශ්‍රය http://sammathayenobbata.blogspot.com/2012/04/blog-post_09.html

මේ හයිකු කවි කිහිපයක්. එකකට එකක ගලාගෙන යාමක් ගැන හිතල නැහැ. අහඹු තෝරාගැනීම්වල එකතුවක්. උපුටගන්නේ 'බෂෝ ගේ හයිකු කවි' නම් විමලදාස ගමගේ පරිවර්තනය කළ පොතින්. ඒ පොතේ මෙහෙම සඳහන් වෙනවා,


"බෂෝගේ පුරෝගාමිත්වයෙන් වර්ධනය වුණු හයිකු කවිය ලෝකයට අලුත් අත්දැකීමක් විය. ලෝකය පුරා කවීහු එය මහත් උද්‍යෝගයෙන් භාර ගත්හ. එහෙත් ලෝකය පුරා පැවති කාව්‍ය සම්ප්‍රදායන්ට  වඩා එය අලුත්ම කාව්‍යය සම්ප්‍රදායක් විය. ලෝකයේ බොහෝ කවීහු හයිකු කවි නිර්මාණය සඳහා යොමු වුණේ ඒ නිසාය. හයිකු කවියේ පවතින සුවිශේෂත්වය ජපානයේ අනෙකුත් බොහෝ කලාවන්ගේද පවත්නා සුවිශේෂත්වයටම සමාන්තර ය."

හයිකු කවි නිකම්ම වචන ටිකක එකතුවක් නෙමේ. ඉතාම සංගත ලෙස අදහසක් ඉදිරිපත් කිරීමේ හොඳම ක්‍රමය. අඩුම වචන ගණනකින් සිය හැඟීම ප්‍රකාශ කිරීමයි හයිකු කවියන්ගේ උත්සාහය. හයිකු කවියට මාත්‍රා  5, 7, 5 ලෙස පේලි තුනකින් මාත්‍රා 17 යි. මෙතරම් කවි කෙටිවෙන්න සෙන් බුදුදහම බලපාල තියනවා. ජපන් කවියේ ප්‍රධාන අංගයක් වෙන ව්‍යංගය මේවයෙත් ඇතුලත්. ඒ නිසාම තේරුම් ගැනීම අපහසු වෙන්නත් පුළුවන්.

බෂෝ හා ඔහුගේ සෙන් ගුරුතුමා බුචෝ අතර වෙච්ච කතාවක් මෙහෙමයි,
බුචෝ: මේ දවස් වල කොහොමද?
බෂෝ: ළඟදි ඉඳල වැස්ස හින්ද කවදාටත් වඩා කොළ පාටින් පාසි හැදිලා.
බුචෝ: පාසිවල කොළ පාටට කලින්  තියෙන්නේ මොනවගේ බුද්දාගමක්ද?
බෂෝ: මැඩියෙක් වතුරට පනිනවා, ඒ හඬට ඇහුම්කන් දෙන්න...

-------------------------------------------------------------------

මගේ අලුත් ලෝගුව තුල
මේ උදෑසන-
වෙනත් කෙනෙක්

කුඹුර හායි
චෙරි - හන වගාවන් වෙනුවෙන්-
කුණාටුව දෝංකාර දෙයි

වසන්තයේ නික්ම යාම-
කුරුල්ලෝ හඬ නගති
මින් රැල ඇසිපිය ගසා කඳුළු සලති

යතිවරුන්ගේ පා ගැටෙයි
අයිස්මය අඳුර හරහා
අදිමින් ළිඳෙන් මිහිරි දිය

වහල අගුවේ ගිරවුන්-
සිලිම තුල මීයන්-
දිව්‍යමය සංගීතය

දීප්තිමත් සඳ; මම
පොකුණ වටා සක්මන් කරමි
හා, සන්ද්‍යාව පැමිණ ඇත

නොදන්නා වසන්තය-
පිපුණු ප්ලම් මල්
කැඩපතට පිටුපසින්

තවමත් හුස්ම ගනී
අයිස් කුට්ටියක් තුල
මුහුදු බෙල්ලන්

සුළඟින් ගෙනැවිත්
අසිය් කූරක එල්ලී
මේපල් කොළයක්

අපි එහෙ මෙහේ ඇවිදිමු
හිම දසුන් රස විඳිමින්
මා ලිස්සා වැටී යන තුරු

වසරින් වසර
වඳුරාගේ වෙස් මුහුණ
පැහැදිලි කරයි වඳුරා

පැරණි පොකුණ
මැඩියෙක් පනියි-
දිය විසිරේ.