Tuesday, September 22, 2015

රාගය කාටවත්ම පාලනය කරන්න බෑ.



Chamalka Alwis
අතුලගෙ දුව අවුරුදු 13-14 වෙද්දි කොල්ලෙක් එක්ක යාලු නොවුනොත් බලන්නකෝ---------------------------------------------------------.
එයා දැනටත් ලැදි කොල්ලො ඉන්නවා.
මම කෙල්ලො ගැන හිතුවෙ
අම්මා සුරංගනා කතා කියද්දි..

මට ඇගේ හිත පාලනය කරන්න බෑ.
හිත් වැඩ කරන විදියත්
හිත අනුව අපි නොමග යන විදියත්
දුක් නොවිඳ ඉන්න නම්
හිත පවත්වාගත යුතු විදියත්
කියා දෙන්න විතරයි පුලුවන්.
මාර්ග විස්තරය දුන්නට පස්සෙ
කැලේ ගිහින් අනතුරට ලක්වුණත්
මම ඒ ගැන පසුතැවෙන්නෙ නෑ.

සත්වයෙක් විදියට ජීවත්වෙන්න අවශ්‍ය රාගය
කාටවත්ම පාලනය කරන්න බෑ.
රාගයෙන් එන පෙළඹවීමට වහල් නොවී
ආත්ම දමනයෙන් හෝ
රාගයට උපේක්ෂාවෙන් ඉන්නයි
මම ඔවුන්ට පුහුණු කරන්නෙ.
ඒක කොල්ලන්ට අදාළව කරන්න කලින්
ආහාරවලට, ලස්සණ රූප වලට,
ප්‍රිය කරන චිත්‍රපටි වලට,
නෑදෑ හිතවතුන්ට අදාළව
රාගයෙන් එන පෙළඹවීමට වහල් නොවී
ආත්ම දමනයෙන් හෝ
රාගයට උපේක්ෂාවෙන් ඉන්නයි
පුහුණු කළ යුත්තෙ.

ඔවුන් උපන්දා සිටම අපි ඒක කරනවා.

දෝණි ඉපදුණේ මගේ අත උඩට
ත්‍රී වීල් එකේ රෝහලට යද්දි.
මම ඇගේ බෙල්ල වටේ එතිලා තිබුණ
පෙකණි වැල සීරුවෙන් ගලවලා
ජීවත් වෙනවාද කියා බලන්න
මගේ ඇඟීල ඇගේ අතට තිව්වාම
ඇය ඒ ඇඟිල්ල අල්ලා ගත්තා..
කකුල්දෙකෙන් උස්සන්න, තට්ටු කරන්න
අවශ්‍ය වුණේ නෑ.
අපි රෝහලට ගියේ තවත් විනාඩි
10කට 15කට පසුවයි..

ඔවුන් ඉල්ලන කිසිම දෙයක්
ඔවුන්ට එකවර ලැබෙන්නෙ නෑ.
තියන දේවල් එකවර ඉවත් කරනවා.
සොබා දහමට ඔවුන් හුරුවෙන්නෙ අපෙන්.
අපි සොබා දහමට පිටුපාල
ඔවුන්ගෙ පැතුම් වහ වහා ඉටු අරන්නෙ නෑ.

කාක්කෙක් අල්ලගෙන යද්දි
නිදහස් කරගත් ලේනෙක්
පසු ගිය දිනවල ඔවුන්ට ලැබුණා.
ඔවුන් ඌ සමග විශාල කාලය ගත කළා.
රෑ නින්දට කූඩුවට දැමීම හැර
ජනෙ වල කර්ට්න් වල සහ ග්‍රිල්වලට වෙලා
උගේ ජීවිතය ගත වෙනවා.
ඌ ඊයෙ රෑ නැති වුණා.
ඔවුන් දෙදෙනා මූලිකව ගේ වටේ හෙව්වා.
ඌ ලොකුවෙලා නැතිවුණා නම් කමක් නෑ.. දෝණි කිව්වා.
පුතා කවි ලියන්න උත්සාහ කළා.

දෙන්නම පොඩ්ඩක් ඇඬුවා.
පුතා පෙරේදා පාසලෙන් ඉගෙන ගත්ත
තණ්හාය ජායතී සෝඕ ගාථාවට
මේ සිදුවීම ගැලපුණා.
සම්බන්ධය වැටහුණ වෙලාවෙ
පුතාගෙ ඇස් දිළිසුණා.

අද උදේ ඔවුන් පාසැල් යන්න
එළියට බැස්ස වෙලාවෙම වගේ
ලේනා නැවත ආවා.
ඒ බව කිව්වාම පුතා
දුවලා ඇවිත් බලල ගියා.
දෝණි ආවෙවත් නෑ.
ඌ ඉන්නවා නම් ඇති..කියා
ඇය හිතුවා නම් මම සතුටුයි..
---------------------------------------
Tin Tin අපේ සුරතලා.