Wednesday, August 31, 2016

වරදක් කළ දරුවෙකුට ලැබෙන හොඳම සම්මානය නිසි දඬුවමයි.

එක කාලෙක තාත්තා
 අපේ නෑ කෙනෙකුට අයිති
 අකුරැස්ස ආසන්නයේ පිහිටි ඉඩමක
 පාලනය භාරව සිටියා.

පාසල් නිවාඩු කාලයෙ
තාත්තා මගේ මල්ලි ඒ වත්තට එක්ක ගියා.
ඒ දෙන්නාට කෑම සකස් කරල දෙන්න එන
 ගැමි කාන්තාවට මල්ලි නොයෙක් හිරිහැර කළාලු.
රොටි තැටියට වැලි දැමීම් වැනි ක්‍රියා
 ඇය තාත්තාට පැමිණිළි කළාලු.
තාත්තාට වචනයෙන් කළ හැකි කොටස
 අවසන් වෙන්න ඇති.

මේ වාතාවරණය තුළ එක දිනක
 තාත්තා පොල්කොළ ටිකක් එකතු කරගෙන
 ඒ පොල්කොළ වල ඉරටුව හොඳින් සූරන අයුරු
 මල්ලි දැකලා තියනවා.

පූජාවකට මෙන් එසේ ඉරටු සකස් කිරීමෙන් පසුව
 තාත්තා ඒ ඉරටු හතරක් පහක් පමණ එකට තියලා
 නූලක් අරන් තැන් තැන්වලින් එකට ගැට ගහන හැටිත්
 මල්ලි දැකලා තිබුණා.
ඊට පස්සෙ තාත්තා මල්ලිට කතා කරලා
 ඒ ඉරටු මිටිය කැඩෙනතුරු
 මල්ලිට ගහල තිබුණා.

ඒ ගුටි පූජාවට අරුතක් එක්වුණේ
 ඉරටු මිටිය සකස් කළ ආකාරය නිසයි.
ඒ අත්දැකීම මල්ලිට අදත් මතකයි.

හොඳ දඬුවමක් කියන්නෙ
 වරදක් කළ දරුවෙකුට ලැබෙන්න පුලුවන්
 හොඳම සම්මානයයි.

මම අවුරුදු දෙක තුනේදි විතර
 ළිඳකට එබිලා තාත්තට අහුවෙලා
 තාත්තා මට ගහල තියෙන්නෙ
 ඉනේ බැඳපු පටියෙන්.

අදටත් මම ලිඳකට එබෙන්නෙ
 ඉතාම සැලකිල්ලෙන්, ප්‍රවේශමෙන්..

භික්ෂුවක් ගිහියන් ඇසුරු කළ යුත්තෙ
 ළිඳකට එබෙන්නාක් මෙන් ප්‍රවේශමෙන් කියලා
 බුදුන් වහන්සේ කියල තියනවා.
ඒ වගකීම සාමණේර භික්ෂූන් තුළ ඇති කිරීම
 ගුරු ස්වාමීන් වහන්සේගෙ වගකීමක්.

මම ළිඳට එබෙද්දි
 මා තුළ තිබිය යුතු නිවැරදි හැඟීම
 මගේ හිතේ ඇති කළේ මගේ තාත්තායි.

එවන් තාත්තා කෙනෙකු ලැබීම
 මගෙත් මල්ලිගෙත් වාසනාවක්.