Thursday, February 9, 2017

දළදා වන්දනාව, බෝධි වන්දනාව සහ මක්කම වන්දනාව


Ramzy Razeek
[[[ මුස්ලිම්වරු දෙවියන් සිහි කරන්න සංකේත භාවිතා කරනවා, 
මට කියන්න 
මුස්ලිම්වරු මෙහෙම කියනවා ඔයා අහලා තියෙනවද?
කහ්බාව නම් කලු පෙට්ටියේ ආරක්‍ෂාවයි.
කහ්බා බිත්තියේ ඔබලා තිබෙන කලු ගලේ පිහිට යි.
මුස්ලිම්වරු මෙහෙම කියනවද ?
නමුත් බෞද්ධයන් කියනවනේ දළදා වහන්සේගේ (දතේ) ආරක්‍ෂා වයි.
ශ්‍රී මහා බෝධියේ (ගසේ) පිහිටයි.
දැන් ඔබලා මේ දෙකේ වෙනසක් දකින්නේ නැත්ද ?]]


වෙනසක් තියනවා රම්සි.
සමානකම්ද තියනවා.

1, තමා සරණයි, අන් සරණක් නැත.

2, දෙවියන් වහන්සේ සරණයි, අන් සරණක් නැත.

පළමුවෙන් සමානකම් බලමු.
ඔබ දෙවියන් වහන්සේගෙන් උපකාර බලාපොරොත්තු වෙනවා.
දෙවියන් වහන්සේ නැත්නම් ඔබ අසරණයි. තනි වෙනවා.
ඒ මානසිකත්වයෙන්ම බුදුන් වහන්සේගෙ සරණ සොයන
බුදුන් වහන්සේ සරණ වෙනවා කියා හිතන අය
බෞද්ධයන් අතර ඉන්නවා.
වයස අසූවෙදි මිය යන තුරුම මගේ අම්මාත් එහෙමයි.
ඒත් ඇය විපස්සනාත් වැඩුවා.
ඇය වේදනා ගැන සිහියෙන් වේදනාවට උපේක්ෂාවෙන් සිටියා.
ඒ නිසාම පිළිකාව නිසා මාස හතරක් තිස්සෙ පැමිණි දුක
ඇය බාහිර සරණක් නැතිව දුක් නොවිඳ පසු කළා.
මැරෙන බව දැනගෙන හිටියා. බේරෙන්න උත්සාහ කළේ නෑ.
අවසාන මොහොතෙ අම්මගෙ සොහොයුරියටත් එන්න කියලා
දැනුවත්ව මිය ගියා.

ඇය ශ්‍රද්ධාවෙන් ජීවත්වුණා.
ශ්‍රද්ධාව නිසා සිහිය පිහිටුවා ගන්න වීර්ය කළා.
සිහිය සමාධිය නිසා ලැබුව ප්‍රඥව නිසා
මරණ බියෙන් තොරව ප්‍රඥාවෙන් මරණයට පත්වුණා.

ඇය මුලු ජීවිතය පුරාම බුදුන් වහන්සේගෙ පිහිට
ලැබෙනවා කියන විශ්වාසයෙන් ජීවත් වුණා.
දහම පිළිපැදීමෙන් ඇයට ඒ පිහිට ලැබුණා.
ඇය තුළ දෘෂ්ඨියක් තිබුණා.
ඇයට පිහිටක් ලැබුණ නිසා
ඒ දෘෂ්ඨිය සම්‍යක් දෘෂ්ඨියයි.

ඔබ දෙවියන් වහන්සේගෙන් පිහිටක් යදිනවා.
අල්ලහ් දෙවියන් වහන්සේට යටත් වීම
ඔබේ යුතුකම ලෙස ඔබ සලකනවා.
ශ්‍රද්ධාව මට්ටමේ ඉන්න බෞද්ධයෙකුත්
ඔබ සිතන විදියටම සිතනවා.
එහෙත් ඔහුට යන්න මාර්ගයක් තියනවා.

සැබෑ බෞද්ධයා සිහිය පිහිටුවාගත යුතුයි.
සිහිය නිසා ලැබෙන සම්මා සමාධියෙන් වෙසෙමින්
ප්‍රඥාව ලැබිය යුතුයි.

බුදුන් වහන්සේගෙ දහමට අනුව
තමන්ගෙ විමුක්තිය, නිදහස සඳහා
කිසිම බාහිර බලවේගයකට යටත් වීම
කිසිදු බාහිර බලවේගයක පිහිට පැතීම
කිසිදු බාහිර පුද්ගලයෙකුට යටත් වීම
කිසිදු බාහිර පුද්ගලයෙකුගෙ පිහිට පැතීම
සම්පූර්ණයෙන්ම වැරදියි.
කෙනෙක් තමන්ටම හෝ වහල් වීම වැරදියි.
බුදු දහම ආත්ම දමනය පදනම් වුණ දහමක්.

බුදු දහම නිසි පරිදි පිළිපැදීමට
ප්‍රඥාව, සමාහිත බව ආදී සුදුසුකම් අවශ්‍යයි.
ඒ සුදුසුකම් නැති අයට සිඟිති පාසල් මට්ටමෙන්
බුදු දහම ආගමක් විදියට අදහන්නත් පුලුවන්.
බුදුන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් තියන
දහම ගැන ශ්‍රද්ධාවක් තියන
බුදු දහමෙන් නිවන් දුටු ආර්ය ශ්‍රාවක පිරිස ගැන
ශ්‍රද්ධාවක් තියන කෙනෙක්
ගහකට ගලකට හෝ වැඳලා
තෙරුවන් සිහිකරනවා නම් ඔහු නිවැරදියි.
ඒ වන්දනාවෙන් කිසියම් බාහිර බලවේගයක
පිහිටක් යදිනවා නම්, ලැබෙයි කියා හිතනවා නම්,
ඔහුත් ඉන්නෙ අනිත් සියලුම දේව භක්තිකයන් අතරයි.
ඔබු බුදුන් වහන්සේගෙ ශ්‍රාවකයෙක් නොවෙයි.
.
බුදුන් වහන්සේගෙ ශ්‍රාවකයාට
කිහිලි කරු අවශ්‍ය නැහැ.
ඔහු තමන්ගෙ ගමන යන්නෙ තමන්ගෙම දෙපයින්.
බුදුන් වහන්සේ දේශනා කළ මාර්ගයෙ
තමන්ගෙම දෙපයින් නිදහසේ යනවා.
ඔහු ගස් ගල් වලට වන්දනා කරමින්
කාලය නාස්ති කරන්නෙ නෑ.
කාගේවත් කට දිහා බලාගෙන බණ අහමින්
කෙනෙක් වටා කල්ලි ගැසී කාලය නාස්ති කරන්නෙ නෑ.
ඔහු මග අහගෙන ඒ මාර්ගයෙ යනවා.

1, තෙරුවන් ගැන පැහැදිලා
තෙරුවන් සරණ යන පමණින්ම ඔහු උප ශ්‍රාවකයෙක්.
2, ඔහු ශ්‍රාවකයෙක් වෙන්නෙ සිල්වතෙක් වීමෙන්.
3, විපස්සනා වඩන්නා ආර්ය ශ්‍රාවකයෙක්.
4, සෝවාන් වුණ කෙනෙක් ආර්ය පුද්ගලයෙක්.
එතනින් එහාට ඔහු නිදහස් වීම
නිවන් දකීම අනිවාර්යයි.

සිල්වතාත් ශ්‍රාවකයෙක්.
ඒත් ඔහු දූෂිත සිත ඇති කෙනෙක්.
ඔහුගෙ සිත රැකගෙන අන් අයට හානියක් නොකරන නිසා
ඔහු සිල්වතෙක් විදියට සමාජයට ආශීර්වාදයක්.
ඔහු සිත නිවා ගත්තාම සමාහිත සිතැත්තෙක්.
තමන් ගැන සිහියෙන් සමාහිත සිතින් වෙසෙන්නා
විදසුන් වඩන ආර්ය ශ්‍රාවකයෙක්.

ආර්ය ශ්‍රාවකයාට වෙනත් කිසිම සරණක් නෑ.
ඔහු තමන් සරණ ගිය තමාට තමාම පහනක් වුණ කෙනෙක්.
ඔහු මාර්ගයෙ යන කෙනෙක්.

කිසිදු බාහිර සරණක්, පිහිටක්, පහනක් නෑ.
බුදුන් වහන්සේගෙ උපදෙස මෙයයි..

තමා දීපයක් කොට වෙසෙන්න.
තමා සරණයි, අන් සරණක් නැත.
ධර්මය දීපයයි, ධර්මය සරණයි.
අන් සරණක් නැත.

කෙසේද මහණෙනි
තමා දීපයක් කොට වෙසෙන්නේ?
තමා සරණයි, අන් සරණක් නැත්තේ,?
ධර්මය දීපයයි, ධර්මය සරණ වන්නේ?

මහණෙනි, යම් මහණෙක්,
1, කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව වෙසෙයි,
2, වේදනා වල වේදනා අනුව දකිමින්,
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව වෙසෙයි,
3, සිතෙහි සිත අනුව දකිමින්,
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව වෙසෙයි,
4, දහම්හි දහම් අනුව දකිමින්
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව වෙසෙයි,

මහණෙනි එසේ
තමා දීපයක් කොට වෙසෙන්න.
තමා සරණයි, අන් සරණක් නැත.
ධර්මය දීපයයි, ධර්මය සරණයි.
අන් සරණක් නැත

දීඝනිකායේ චක්‌කවත්‌තිසුත්‌තං