Wednesday, February 8, 2017

පොත් කියවන දරුවාට විභාග ජයගැනීම පහසුයි.



අනේපිඩු සිටු තුමා
බුදුන් වහන්සේ ළඟට ගිය පුතාට
ඔහු යන වාරයක් පාසා
මුදල් ගෙවා තියනවා.

දරුවෙකුට නොමිලේ සලකනවාට වඩා
ඔහු අපෙන් යමක් උපයා ගැනීම
හිතට සතුටක් වගේම
අපි අතර ඇතිවෙන්න ඉඩ තියන
අනවශ්‍ය බැඳීමෙනුත් මිදීමක්.
අප මෙන්ම ඔහුත් නිදහස්.
අපටත් වඩා
දරුවාට ඒ නිදහස වටිනවා.

මාසෙකට විතර කලින්
පුතා මේ ඩයිනොසෝර් අරන් ඉල්ලුවා.
"මාසයක් ඇතුළත
පිටු 1500ක පොත් කියෙව්වොත්
අරන් දෙන්නම්" කියා දුන් පොරොන්දුව
අපි අද ඉටු කළා.

ඒ මුදල
වෙන දේකට වියදම් කරලා
ඊට වඩා වටිනා දෙයක්
අපට ලබාගන්න පුලුවන් කියා
මම හිතන්නෙ නැහැ.

කියවූ පොත් වලින් ඔහුට එකතුවුණ දේත්
නිශ්චිත කාලයක් අරමුණක් පසුපස හඹා යන්නට
ඔහුට නිතැතින් ලැබුණ පුහුණුවත්
යමක් දිනාගැනීමෙන් ඔහු ලබන සතුටත් සමග
දරුවෙක් පොත් කියවන්න හුරුවෙද්දි
දෙමාපියන් විදියට අපි වින්ද සතුටත්
මුදලෙන් මිළ කරන්න බැහැ.

 ඔබ කියවීමට හොර ඇති.
නොකියවන කෙනෙකුට කියවීම වටින්නෙ නෑ.

ඔබේ දරුවා පාසල් යන කාලෙට
ඔහුගෙ දක්ෂතාවයෙ තරමට
විභාග වලින් ලකුණු නොලැබෙන කොට
ඔහුට ප්‍රශ්න පත්‍රයක් කරන්න දීල බැලුවොත්
කියවීම ඔහුට කොතරම් අවශ්‍යද කියා
ඔබට වටහාගන්න පුලුවන් වේවි.

දක්ෂ බුද්ධිමත් දරුවන්
විභාගවලින් අසමත් වෙන්න
ප්‍රධානම හේතුවක් වෙන්නෙ
ප්‍රශ්නය පහසුවෙන් කියවා
හොඳින් තේරුම් ගන්නට තරම්
ඔහුගෙ කියවීමෙ හැකියාව දියුණු නැති වීමයි.

දෙවනුව
වචන හා වාක්‍ය ගලපා ලියන්නට
ඔහුට හුරුවක් නැති නිසයි.

කුඩා කල සිටම පෞද්ගලික පාසල්වල
හතරෙ පන්තියෙ අවසාන වාරය තෙක්ම
ඉංග්‍රීසියෙන් ඉගෙන ගත් මගේ පුතාට
ළමයි 85ක් ඉන්න කුඩා ප්‍රාථමික පාසලකින්
169ක් අරන් 5 ශිෂ්‍යත්වෙ සමත් වෙන්න හැකි වුණේ
අපි හැකි උපරිමයෙන් ඔහුට සිංහල කියවීම
හුරුකර තිබුණ නිසයි.
5 ශිෂ්‍යත්වෙන් දෙවැන්නාට ලකුණු 111යි..
ඒ පරතරයට ප්‍රධාන හේතුව
ඉංග්‍රීසියෙන් ඉගෙන ගත් අපේ පුතා
සිංහල කියවීමට හුරුවීම සහ
ඒ පාසලේ 1 වසරෙ සිටම
සිංහලෙන් ඉගෙන ගත් අනෙක් සිසුන්
කියවීමට හුරු නොවීම.
.
කියවන්න බැරි ළමයාට
අනිවාර්යයෙන්ම ලියන්නත් බෑ.

දරුවෙක් මොන ටියුෂන් පන්තියට ගියත්
කියවන්නෙ නැත්නම් දැනුම ලැබෙන්නෙ අඩුවෙන්.
ලැබෙන දැනුමත් කොළේක ලියාගන්න බෑ.

කියවීම දරුවගෙ අවශ්‍යතාවයක්..
දරුවා කියවීම අපට පහසුවක්.

Sunday, January 29, 2017

දුක නිවන්න, තාත්තා අරන් දුන් චිත්‍රකතා පොත..


මෙතෙක් ආ ගමනේ වීරත්වය කාට ද හිමිවෙන්න ඕනි සර්?
සහතිකවම තාත්තා තමයි මගේ වීරයා. මොකද මම එහෙම කියන්නේ එයා තරම් මාව හඳුනාගත්ත වෙනත් කෙනෙක් තවත් නෑ. මගේ තාත්තා කඩුගන්නාවේ රජයේ බෙහෙත් ශාලාවේ ඔෟෂධ සංයෝජකයෙක් ලෙසයි රැකියාව කළේ. ඒක ලොකු වැටුප් හම්බවෙන ඉහළ තරාතිරමේ රැකියාවක් නො වුණත් ගමේ අය තාත්තට හරියට සැලකුවා. ගමේ අය තාත්තට කිව්වේ රත්නායක වෙදමහත්තයා කියලා. තාත්තට යන යන තැන අපූරු මිතුරන් පිරිසකුත් හිටියා. එයා අතිශය කලාකාමී චරිතයක්. මගේ කුඩා කාලේ අපේ ගෙදර නිරන්තරයෙන් සංගීතය ඇහෙන පරිසරයක් තිබුණා. අපි ඒවට කිව්වේ සංගීත සාජ්ජ කියලා. ගමෙත් එහෙමයි. සංගීත සාජ්ජ තිබුණා. මේවායේ සර්පිනා, තබ්ලා, බටනලා, මැන්ඩලීන් වැනි වාදක භාණ්ඩ මැනවින් තිබුණා. අපි මේ වගේ අවස්ථාවලින් ලොකු වින්දනයක් ලැබුවා. ඉතින් තාත්තා ගැන කතාවට මම එන්නම්. අපේ ගමේ ඔය හැම විශේෂ අවස්ථාවකම ඒ කියන්නේ කොටහළු මඟුල් ගෙයක්, මඟුල් ගෙයක්, ස්ථාන මාරුවක් මේ හැම එකකම සාජ්ජ තිබුණා. එක දවසක් ඔය වගේ සාජ්ජයක සංගීතය අතරතුර ලැබුණු විරාමයක වාදක පිරිස පොඩ්ඩකට එහාමෙහා වුණා. ඒ වෙලාවේ මට ඒ වාදක භාණ්ඩ අතර තිබුණු සර්පිනාව අතපත ගාන්න ආස හිතුණා. ඒක ෆුට් බෙලෝ සර්පිනා එකක්. ඒක වාදනය කරන්න ඕන කකුලෙන් පාග පාගා හුළං දෙමින්. මමත් කකුල් දෙකින් බෙලෝ එක පාගමින් අර ඇඟිල් පුවරුවේ අත එහාමෙහා ආසාවට අරන් ගියා. මට එකපාරටම ලොකු ටොක්කක් වැදුණා රිදෙන්නම. ඒ මේ සර්පිනා එකේ අයිතිකරුවාගෙන්. ඊටපස්සේ මගේ කන් කෙටියෙන් අල්ලලා මාව පැත්තකට වීසි කරන ගමන් කිව්වා මේක සෙල්ලම් බඩුවක් කියලා හිතුව ද කියලා. ඉතින් ඔය සිද්ධිය අපේ තාත්තට ආරංචි වෙලා එයාගේ හිත හොඳටම රිදිලා තැන් තැන්වල ගිහින් ටොකු කන්නේ නැතිව මෙන්න ඉගෙන ගනින් කියලා අර වර්ගයේම සර්පිනාවක් මට අරන් දුන්නා. ඒක තමයි මගේ සංගීත දිවියේ ආරම්භය.
----------------------------------------------------වික්ටර් රත්නායක



 මගේ ජීවිතයෙත්
මෙවැනිම සිදු වීමක් තියනවා.

 
ඒ දවස්වල තාත්තා වැඩ කළේ
දෙනියායෙ කිරිවැල්දොළ රොක්ලන්ඩ් වත්තෙ
කොන්දොස්තර කෙනෙක් විදියටයි.

 

මම හය හත වසරෙ විතර ඉන්න කාලෙ
එක පාසල් නිවාඩුවකට
තාත්තා මාව ඒ වත්තට එක්ක ගියා.
ඒ ගමනෙදි වත්ත හිමිකරුවන්ගෙ
ගෙදරට ගිය බව මට මතකයි.
අලිගැට පේර කාල වමනෙ ගිය හැටිත්
එදා සිට අදටත් අලිගැටපේර
මට අප්‍රිය වීමත් මතක සටහනක්.
ඒ ගෙදර වතුර ටැංකිය,
ඒ ටැංකියට වතුර ලබාගන්න
කන්දෙ හදල තිබුණ ටැංකියෙ
ප්‍රතිසංස්කරණයකට ගිය බව
ඒ අසල ගෙදරකදි තෑගි ලැබුණ
කුණුලේ පාට ප්ලාස්ටික් කොපුවක් සහිත
මවුත් ඕගන් එක මට මතකයි.

අපි නවාතැන් අරන් හිටියෙ
වත්තෙ තියන දළු මඩුවෙ කාමරේක.

දවසක් හැන්දෑවෙ හතට විතර
තාත්තා මාත් එක්ක දළු මඩුව අසල
තාත්තගෙ මිතුරෙකුගෙ ගෙදරට ගියා.
ඒ ගෙදර "නීලා චිත්‍රකතාව තිබුණා.

 
මම ඒ කතාව ඉතා ආශාවෙන් කියෙව්වා.
තාත්තා සතුටු සාමීචිය නිමා වෙලා
පිටත් වෙන වෙලාව වෙද්දි
කතාව කියවා ඉවර කරගන්න
මට බැරි වුණා.

පොත අරන් ගිහින් කියවන්න මම ඉල්ලුවා.
ඔවුන් දෙන්න කැමතිවුණේ නැහැ.
මගේ හිතේ දුකත් තරහත් නිසා
මම මග දිගට කළුවරේ හඬමින්
පාර දෙපැත්තෙ තේ ගස්වල කොළ කඩමින්
තාත්තා පිටුපසින් ආවා.
තාත්තා වචනයක්වත් කිව් බවක්
මට මතක නැහැ.

නිවාඩුව ඉවර වෙලා
තාත්තා මා එක්ක ගෙදර යන්න
පිටත් වෙලා ආපහු එද්දි
බස් රථය දෙනියායෙ නැවතුම් පොළේ
ටික වෙලාවකට නතර කළා.
මම ජනේලයක් ළඟට වෙලා
බලාගෙන්න ඉඳිද්දි
තාත්තා බස් එකෙන් බැහැලා
මම ඉන්න පැත්තෙ මහපාර පැනලා
එතන තිබුණ කඩේකට ගියා.
ඒ කඩේ එල්ලා තිබුණ චිත්‍රකතා පොතක්
අරන් තාත්තා මට ගෙනත්දුන්නා.
ඒ "බිලිපූජාව" හතරවෙනි කොටස.

මගේ ජීවිතය මූලිකවම මම ගතකරන්නෙ
චිත්‍රකතා ශිල්පියෙක් විදියට කියල
තාත්තා එදා හිතන්න නැතුව ඇති.

පාසල් යද්දි චිත්‍ර ඇඳීම
තාත්තා අනුමත නොකළත්
පත්තරවල කතා පළවෙද්දි
තාත්තා අහිංසක ආඩම්බරයක් ලැබුවා.

Wednesday, August 31, 2016

වරදක් කළ දරුවෙකුට ලැබෙන හොඳම සම්මානය නිසි දඬුවමයි.

එක කාලෙක තාත්තා
 අපේ නෑ කෙනෙකුට අයිති
 අකුරැස්ස ආසන්නයේ පිහිටි ඉඩමක
 පාලනය භාරව සිටියා.

පාසල් නිවාඩු කාලයෙ
තාත්තා මගේ මල්ලි ඒ වත්තට එක්ක ගියා.
ඒ දෙන්නාට කෑම සකස් කරල දෙන්න එන
 ගැමි කාන්තාවට මල්ලි නොයෙක් හිරිහැර කළාලු.
රොටි තැටියට වැලි දැමීම් වැනි ක්‍රියා
 ඇය තාත්තාට පැමිණිළි කළාලු.
තාත්තාට වචනයෙන් කළ හැකි කොටස
 අවසන් වෙන්න ඇති.

මේ වාතාවරණය තුළ එක දිනක
 තාත්තා පොල්කොළ ටිකක් එකතු කරගෙන
 ඒ පොල්කොළ වල ඉරටුව හොඳින් සූරන අයුරු
 මල්ලි දැකලා තියනවා.

පූජාවකට මෙන් එසේ ඉරටු සකස් කිරීමෙන් පසුව
 තාත්තා ඒ ඉරටු හතරක් පහක් පමණ එකට තියලා
 නූලක් අරන් තැන් තැන්වලින් එකට ගැට ගහන හැටිත්
 මල්ලි දැකලා තිබුණා.
ඊට පස්සෙ තාත්තා මල්ලිට කතා කරලා
 ඒ ඉරටු මිටිය කැඩෙනතුරු
 මල්ලිට ගහල තිබුණා.

ඒ ගුටි පූජාවට අරුතක් එක්වුණේ
 ඉරටු මිටිය සකස් කළ ආකාරය නිසයි.
ඒ අත්දැකීම මල්ලිට අදත් මතකයි.

හොඳ දඬුවමක් කියන්නෙ
 වරදක් කළ දරුවෙකුට ලැබෙන්න පුලුවන්
 හොඳම සම්මානයයි.

මම අවුරුදු දෙක තුනේදි විතර
 ළිඳකට එබිලා තාත්තට අහුවෙලා
 තාත්තා මට ගහල තියෙන්නෙ
 ඉනේ බැඳපු පටියෙන්.

අදටත් මම ලිඳකට එබෙන්නෙ
 ඉතාම සැලකිල්ලෙන්, ප්‍රවේශමෙන්..

භික්ෂුවක් ගිහියන් ඇසුරු කළ යුත්තෙ
 ළිඳකට එබෙන්නාක් මෙන් ප්‍රවේශමෙන් කියලා
 බුදුන් වහන්සේ කියල තියනවා.
ඒ වගකීම සාමණේර භික්ෂූන් තුළ ඇති කිරීම
 ගුරු ස්වාමීන් වහන්සේගෙ වගකීමක්.

මම ළිඳට එබෙද්දි
 මා තුළ තිබිය යුතු නිවැරදි හැඟීම
 මගේ හිතේ ඇති කළේ මගේ තාත්තායි.

එවන් තාත්තා කෙනෙකු ලැබීම
 මගෙත් මල්ලිගෙත් වාසනාවක්.

Monday, August 15, 2016

මම චිත්‍රකතා අඳින්න පදනම් වුණ චිත්‍රයක්.




ඒ දිනවල ඉතාම ජනප්‍රිය වූ සුසීමා චිත්‍රකතාවෙ දසුනක්..

කාබන් කොළයක් තියලා ට්‍රේස් කරලා
කලු බෝල් පොයින්ට් එකෙන් රේඛා ඇඳලා
ඉතිරිය දියසායමෙන්.


ඒ දිනවල සමරුපොත් වලට
මේ චිත්‍ර ඇඳල ඉල්ලපු
පාසල් සිසු සිසුවියන් නිසයි
මම චිත්‍රකතා අඳින්න හුරු වුණේ.

පාසල් සිසුවෙක් විදියට
ජනක අයියට ලියූ ලියුම් වලට
චිත්‍රකතාවල ලියන
ලස්සණ අකුරුවලින්ම පිළිතුරු ලියා
කොළඹ එන්නට, ලේක් හවුස් ආයතනයට
ඇතුල්වෙලා ඔහුත්, වික්‍රම, අනුර,
බන්ධුල මාස්ටර් අඳින අයුරු බලා ඉන්නට
ඒ ඇසුර ලොකු පිටුවහලක් වුණා.
ඒ අත්දැකීම් මගේ චිත්‍රකතා ඇඳීමෙ මුදුන් මුල බව
දැඩි මිතුරු සෙනෙහසකින් සහ
ගුරු ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා.

Sunday, March 27, 2016

ශාක්‍යා කවි සහ අනෙක් නිර්මාණ



ටින් ටින් ඇයි අඬන්නේ
බත් දුන්නම නොකන්නේ
හේතුව මට කියන්නේ
නෑ, වාගෙයි හිතෙන්නේ..
අම්මාගේ මුල් පද දෙක - ශාක්‍යාගේ ඌණපූරණය



ටින් ටින් ඇයි බත් නොකන්නෙ
ගහට ගිහින් කෑ ගහන්නෙ

හේතුව මට කියන්නේ
නෑ, වාගෙයි හිතෙන්නේ..
ශාක්‍යා 20160327

===========================

Friday, March 25, 2016

අපිව පුහුණු නොකිරීම අපේ දෙමාපියන්ගෙ දුර්වලකමක්.


Dileepa Wattegama
Trend එකක් තියෙනවද? නව පරපුර විවාහයෙන් පසු බිරිඳ ගේ පැත්තට වැඩියෙන් කිට්ටුවී ස්වාමිපුරුෂයා ගේ දෙමාපියන් නොසලකා හරින. එය තරුණ බිරින්දෑවරුන් නිවෙස් වල වැඩට ඇති අකමැත්ත මත තම මවගෙන් යැපීමට කරන සැලසුමක ප්‍රතිඵලයක්ද?

-----------------------------------------
මගේ බිරිඳත්
ගෙදර ගියාම නම්
තනිකරම අම්මා මත්තෙ යැපෙනවා.
තේ එකක්වත් හදන්නෙ නෑ
අපේ ගෙදර ආවම නම්
බිරිඳ තමයි වැඩ කරන්නෙ.
අම්මා උදවු කරනවා.

අපි ඉන්නෙ දුර බැහැර නිසා
නිරන්තරයෙන් යැපේවි කියා
හරියටම කියන්න බෑ..

අපි දෙන්නගෙම
කම්මැලි කම නම් උපරිමයි..
ඒත් වැඩක් කරන්න ගත්තාම
අපි කරගන්නවා.
අපිව පුහුණු නොකිරීම
අපේ දෙමාපියන්ගෙ දුර්වලකමක්...
සහ විශාල වරදක්...

මම හිතන්නෙ
තරුණ බිරින්දෑවරුන්ගෙ දුර්වලකම් සියල්ලටම
ඇගේ මව සපුරාම වගකිවයුතුයි.
ඇගේ පිරිමි ගතිය වැඩි නම්
පියා වගකිව යුතුයි.
ඊට හේතුව වෙන්නෙ
පියා දුවට යටත් වීමයි.

පුතුන්ගෙ දුර්වලකම්වලට
දෙන්නාම වගකිවයුතුයි.
පුතාගෙ ගැහැනු ගතිය වැඩි නම්
අම්මා වගකිවයුතුයි.
පිරිමිකම් අඩු නම් පියා වගකිවයුතුයි.

ඉස්සර වගේ
දරුවන්ට වැඩපල කරන්න දෙන
ක්‍රමය අද නැහැ.
දරුවන් ප්‍රදර්ශනයට තියන
මල් වගේ තියාගෙන
අම්මලා තාත්තලා වහල්ලු වගේ කඹුරන්නයි
අද දෙමව්පියන් පුරුදු වෙලා ඉන්නෙ.
අද දෙමව්පියන් නැහැ.
ඉන්නෙ දරුවන්ගෙ වහල්ලු.

දරුවා වැඩෙන විට
තමන්ගෙ වැඩවත් කරගන්න බැරි තැනට
ඔවුන් පත්වෙනවා.
දෙමව්පියන් දිහා බලන්නවත්
ඔවුන් ශක්තිමත් නැහැ.

පියෙක් වශයෙන්
මම නම් මගේ හැම වැඩක්ම කියන්නෙ
දරුවො දෙන්නාටයි.
ඔවුන්ට කළ හැකි නම්
කරමින් ඉන්න වැඩක් නැත්නම්
මම මගේ වැඩ කියන්නෙ ඔවුන්ටයි.
අම්මා ඔවුන්ට කරල දෙන දෙවල් පවා
හැකි හැමවිටම සීමා කරනවා.
සමහර වෙලාවට අකමැත්තෙන් වුණත්
බිරිඳ මට සහාය දීම
අපේ පවුලෙ වාසනාවක්.

ඔවුන් වැඩිහිටියන් වුණාම
මට නොසැලකුවත් කමක් නෑ.
කුඩා කාලෙ ඔවුන් මට සේවය කරලා
ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබලා තියනවා.
පාර අයිනක කාත් කවුරුවත් නැතිව මළත්
මම දරුවන්ගෙන් කිසිවක්
බලාපොරොත්තු වෙන්නෙ නෑ.
ඔවුන් ස්වාධීනව ජීවත් වෙනවා නම්
මම තෘප්තිමත්.

Monday, November 16, 2015

අසාධාරණ ලෝකයට සාධාරණ පාඩමක්...



මගේ ළමයි දැන් යන්නෙ
පුංචි ගමක පුංචි පාසලකට.
දෝණිගෙ පන්තියෙ
එක ළමයෙකුට කතා කරන්න බැහැ.
ඒත් ඔහුගෙ කන් ඇසෙනවා.

ඊයෙ ඒ පන්තියෙ ගුරුතුමිය
පාසල ඇරෙන්න යන වෙලාවෙ
වෙනදා අනිත් ළමුන්ගෙන් කෙනෙක් දෙන
මෙත් වැඩීමේ භාවනාව
ඒ ළමයාට කරන්න කියලා තියනවා.
ඒ ළමයාත් ඔහුට හැකි විදියට
ඔහුට සීමිත නොපැහැදිලි ශබ්ද මාලාව
ඉදිරිපත් කරද්දි
අනිත් ළමුන් ඔහු අනුව
භාවනාව කරල තියනවා..
" එයා කියන්නෙ මොනවද කියල අපි දන්නවනෙ..
අපිත් කිව්වා" දෝණි කිව්වෙ එහෙමයි.

අනුකම්පාව නිසා හෝ හෙළා දැකීමෙන්
ගුරුවරුන් එවැනි දරුවන් කොන් කිරීමත්
දරුවා හීන මානයෙන් කොන් වී සිටීමත්
සම වයසේ ළමුන් වැඩිහිටියන් අනුව
ඔවුන් ද්වේශයෙන් හෝ අනුකම්පාවෙන් හෙළා දැකීමත්
සාමාන්‍ය දෙයක්..

මෙම ගුරුතුමිය ඒ අවස්ථාව ඔහුට දීමත්
ඔහු ඒ වගකීම බාර ගැනීමත්
අනෙක් ළමුන් ඔහුට හැකි ප්‍රමාණයෙන්
ඔහු දෙන දේ පිළිගැනීමත්
ඉතාම කලාතුරකින් සිදුවෙන
ඉතා සුවිශේෂී සිදුවීම්.

මම දකින විදියට
ඒ ගුරුතුමියත්, ඒ දරුවාත්
අනික් දරුවනුත් එකතු වෙලා
අඩුපාඩු ඇති ළමයින්
විශේෂ ළමුන් ලෙස නම් කර කොන් කරන
අසාධාරණ ලෝකයට
සාධාරණ පාඩමක් උගන්වනවා.

අප ඔවුන්ට සැළකිය යුත්තේ
අනුකම්පාවෙන් නොව
සමානාත්මතාවයෙන් යුතුව බවත්
ඔහුගේ ප්‍රතිචාරය සැලකිය යුත්තේත්
එබඳුම වූ සමානත්මතාවයෙන් යුතුව බවත්
ඔවුන් අපට කියාදෙන අගනා පාඩමයි.