Monday, August 15, 2016

මම චිත්‍රකතා අඳින්න පදනම් වුණ චිත්‍රයක්.




ඒ දිනවල ඉතාම ජනප්‍රිය වූ සුසීමා චිත්‍රකතාවෙ දසුනක්..

කාබන් කොළයක් තියලා ට්‍රේස් කරලා
කලු බෝල් පොයින්ට් එකෙන් රේඛා ඇඳලා
ඉතිරිය දියසායමෙන්.


ඒ දිනවල සමරුපොත් වලට
මේ චිත්‍ර ඇඳල ඉල්ලපු
පාසල් සිසු සිසුවියන් නිසයි
මම චිත්‍රකතා අඳින්න හුරු වුණේ.

පාසල් සිසුවෙක් විදියට
ජනක අයියට ලියූ ලියුම් වලට
චිත්‍රකතාවල ලියන
ලස්සණ අකුරුවලින්ම පිළිතුරු ලියා
කොළඹ එන්නට, ලේක් හවුස් ආයතනයට
ඇතුල්වෙලා ඔහුත්, වික්‍රම, අනුර,
බන්ධුල මාස්ටර් අඳින අයුරු බලා ඉන්නට
ඒ ඇසුර ලොකු පිටුවහලක් වුණා.
ඒ අත්දැකීම් මගේ චිත්‍රකතා ඇඳීමෙ මුදුන් මුල බව
දැඩි මිතුරු සෙනෙහසකින් සහ
ගුරු ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා.

Sunday, March 27, 2016

ශාක්‍යා කවි සහ අනෙක් නිර්මාණ



ටින් ටින් ඇයි අඬන්නේ
බත් දුන්නම නොකන්නේ
හේතුව මට කියන්නේ
නෑ, වාගෙයි හිතෙන්නේ..
අම්මාගේ මුල් පද දෙක - ශාක්‍යාගේ ඌණපූරණය



ටින් ටින් ඇයි බත් නොකන්නෙ
ගහට ගිහින් කෑ ගහන්නෙ

හේතුව මට කියන්නේ
නෑ, වාගෙයි හිතෙන්නේ..
ශාක්‍යා 20160327

===========================

Friday, March 25, 2016

අපිව පුහුණු නොකිරීම අපේ දෙමාපියන්ගෙ දුර්වලකමක්.


Dileepa Wattegama
Trend එකක් තියෙනවද? නව පරපුර විවාහයෙන් පසු බිරිඳ ගේ පැත්තට වැඩියෙන් කිට්ටුවී ස්වාමිපුරුෂයා ගේ දෙමාපියන් නොසලකා හරින. එය තරුණ බිරින්දෑවරුන් නිවෙස් වල වැඩට ඇති අකමැත්ත මත තම මවගෙන් යැපීමට කරන සැලසුමක ප්‍රතිඵලයක්ද?

-----------------------------------------
මගේ බිරිඳත්
ගෙදර ගියාම නම්
තනිකරම අම්මා මත්තෙ යැපෙනවා.
තේ එකක්වත් හදන්නෙ නෑ
අපේ ගෙදර ආවම නම්
බිරිඳ තමයි වැඩ කරන්නෙ.
අම්මා උදවු කරනවා.

අපි ඉන්නෙ දුර බැහැර නිසා
නිරන්තරයෙන් යැපේවි කියා
හරියටම කියන්න බෑ..

අපි දෙන්නගෙම
කම්මැලි කම නම් උපරිමයි..
ඒත් වැඩක් කරන්න ගත්තාම
අපි කරගන්නවා.
අපිව පුහුණු නොකිරීම
අපේ දෙමාපියන්ගෙ දුර්වලකමක්...
සහ විශාල වරදක්...

මම හිතන්නෙ
තරුණ බිරින්දෑවරුන්ගෙ දුර්වලකම් සියල්ලටම
ඇගේ මව සපුරාම වගකිවයුතුයි.
ඇගේ පිරිමි ගතිය වැඩි නම්
පියා වගකිව යුතුයි.
ඊට හේතුව වෙන්නෙ
පියා දුවට යටත් වීමයි.

පුතුන්ගෙ දුර්වලකම්වලට
දෙන්නාම වගකිවයුතුයි.
පුතාගෙ ගැහැනු ගතිය වැඩි නම්
අම්මා වගකිවයුතුයි.
පිරිමිකම් අඩු නම් පියා වගකිවයුතුයි.

ඉස්සර වගේ
දරුවන්ට වැඩපල කරන්න දෙන
ක්‍රමය අද නැහැ.
දරුවන් ප්‍රදර්ශනයට තියන
මල් වගේ තියාගෙන
අම්මලා තාත්තලා වහල්ලු වගේ කඹුරන්නයි
අද දෙමව්පියන් පුරුදු වෙලා ඉන්නෙ.
අද දෙමව්පියන් නැහැ.
ඉන්නෙ දරුවන්ගෙ වහල්ලු.

දරුවා වැඩෙන විට
තමන්ගෙ වැඩවත් කරගන්න බැරි තැනට
ඔවුන් පත්වෙනවා.
දෙමව්පියන් දිහා බලන්නවත්
ඔවුන් ශක්තිමත් නැහැ.

පියෙක් වශයෙන්
මම නම් මගේ හැම වැඩක්ම කියන්නෙ
දරුවො දෙන්නාටයි.
ඔවුන්ට කළ හැකි නම්
කරමින් ඉන්න වැඩක් නැත්නම්
මම මගේ වැඩ කියන්නෙ ඔවුන්ටයි.
අම්මා ඔවුන්ට කරල දෙන දෙවල් පවා
හැකි හැමවිටම සීමා කරනවා.
සමහර වෙලාවට අකමැත්තෙන් වුණත්
බිරිඳ මට සහාය දීම
අපේ පවුලෙ වාසනාවක්.

ඔවුන් වැඩිහිටියන් වුණාම
මට නොසැලකුවත් කමක් නෑ.
කුඩා කාලෙ ඔවුන් මට සේවය කරලා
ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබලා තියනවා.
පාර අයිනක කාත් කවුරුවත් නැතිව මළත්
මම දරුවන්ගෙන් කිසිවක්
බලාපොරොත්තු වෙන්නෙ නෑ.
ඔවුන් ස්වාධීනව ජීවත් වෙනවා නම්
මම තෘප්තිමත්.

Monday, November 16, 2015

අසාධාරණ ලෝකයට සාධාරණ පාඩමක්...



මගේ ළමයි දැන් යන්නෙ
පුංචි ගමක පුංචි පාසලකට.
දෝණිගෙ පන්තියෙ
එක ළමයෙකුට කතා කරන්න බැහැ.
ඒත් ඔහුගෙ කන් ඇසෙනවා.

ඊයෙ ඒ පන්තියෙ ගුරුතුමිය
පාසල ඇරෙන්න යන වෙලාවෙ
වෙනදා අනිත් ළමුන්ගෙන් කෙනෙක් දෙන
මෙත් වැඩීමේ භාවනාව
ඒ ළමයාට කරන්න කියලා තියනවා.
ඒ ළමයාත් ඔහුට හැකි විදියට
ඔහුට සීමිත නොපැහැදිලි ශබ්ද මාලාව
ඉදිරිපත් කරද්දි
අනිත් ළමුන් ඔහු අනුව
භාවනාව කරල තියනවා..
" එයා කියන්නෙ මොනවද කියල අපි දන්නවනෙ..
අපිත් කිව්වා" දෝණි කිව්වෙ එහෙමයි.

අනුකම්පාව නිසා හෝ හෙළා දැකීමෙන්
ගුරුවරුන් එවැනි දරුවන් කොන් කිරීමත්
දරුවා හීන මානයෙන් කොන් වී සිටීමත්
සම වයසේ ළමුන් වැඩිහිටියන් අනුව
ඔවුන් ද්වේශයෙන් හෝ අනුකම්පාවෙන් හෙළා දැකීමත්
සාමාන්‍ය දෙයක්..

මෙම ගුරුතුමිය ඒ අවස්ථාව ඔහුට දීමත්
ඔහු ඒ වගකීම බාර ගැනීමත්
අනෙක් ළමුන් ඔහුට හැකි ප්‍රමාණයෙන්
ඔහු දෙන දේ පිළිගැනීමත්
ඉතාම කලාතුරකින් සිදුවෙන
ඉතා සුවිශේෂී සිදුවීම්.

මම දකින විදියට
ඒ ගුරුතුමියත්, ඒ දරුවාත්
අනික් දරුවනුත් එකතු වෙලා
අඩුපාඩු ඇති ළමයින්
විශේෂ ළමුන් ලෙස නම් කර කොන් කරන
අසාධාරණ ලෝකයට
සාධාරණ පාඩමක් උගන්වනවා.

අප ඔවුන්ට සැළකිය යුත්තේ
අනුකම්පාවෙන් නොව
සමානාත්මතාවයෙන් යුතුව බවත්
ඔහුගේ ප්‍රතිචාරය සැලකිය යුත්තේත්
එබඳුම වූ සමානත්මතාවයෙන් යුතුව බවත්
ඔවුන් අපට කියාදෙන අගනා පාඩමයි.


Tuesday, October 6, 2015

Tin Tin අපේ සුරතලා.


ටින් ටින් සති කීපයක් තිස්සෙ අපේ ගෙදර සුරතලා.
මිතුරෙකුගෙ ගෙදර ගිය වෙලාවෙ
තරිඳු සාක්කුවෙන් එලියට අරන් පෙන්නුවා.
පොඩි දෙන්නා ආස වුණාම
ඔහු ඌ ඔවුන්ට දුන්නා.
ඌ අපේ පවුලෙ පස්වැන්නා බවට පත්වුණා.

ටින් ටින් ඉතා ඉක්මණින් වැඩිලා
පොඩි දෙන්නගෙ ඇසුරෙ නැත්නම්
ගෙදර තිර රෙදි වල ග්‍රිල් වල විසුවා.
පොඩි දෙන්නගෙ ඇඟ පුරා දිව්වා..
ඔවුන් එක්ක සෙල්ලම් කළා.
ඔවුන් දුවන කොට පස්සෙන් එළෙව්වා.

දිනක් හැන්දෑවක ඌ අතුරුදහන් වුණා.
අපි හිතුවා සතෙක් අල්ලන්න ඇති කියලා.
පොඩි දෙන්නා එක්ක බිරිඳත් හැඬුවා.
"ඌ ලොකු වෙලා හිටියා නම් මට දුක නෑ"
කියලා දෝණි කිව්වා.
ඔවුන් දුක් වුණේ ඌ මැරෙන්න ඇති කියලා.

ඔවුන් අඬද්දි මගේ දුක මම වින්දෙ
පපුවෙ දැනුණ සංවේදනාවක් විදියට.
අපි තුන් දෙනාම ඇඬුවා කියලා
දෝණි මාත් එක්ක කිව්වාම
"මගේ දුක තියෙන්නෙ මෙතන" කියලා....
මම පපුවෙ මැද පෙන්නලා කිව්වා.

දෝණි පාසලේ රැස්වීමෙ කතාවක් කළා ඌ ගැන.
"මම ඇඬුවා අයියා ඇඬුවා අම්මත් ඇඬුවා"
කියලා ඒ කතාවෙ තිබුණා.
" මම ඇඬුවෙ නෑනෙ" කියලා
ඈ පුහුණු වෙද්දි මම කිව්වා..
''මම ඇඬුවා අයියා ඇඬුවා අම්මත් ඇඬුවා,
තාත්තා ඇඬුවෙ හදවතින්...'' ඈ එක්කළා.

පහුවෙනිදා උදේ ඌ ආපහු ඇවිත් හිටියා.
ගේ ඇතුළෙම ඉන්න ඇති.

ආයෙ දවසක උදේ කාලෙ ඌ නැතිවුණා.
කලින් වගේම අපි හිතුවා
සතෙක් අල්ලන්න ඇති කියලා..
ටින් ටින් හවස ආපහු ආවෙ
මුළු දවසම එළියෙ ගත කරලයි.

දවසම එළියෙ ගත කරන්න
ඌ කාලයක් තිස්සෙ පුහුණු වුණා.
ඌ අනික් ලේනුන් සමග ගැවසෙනවා අපි දැක්කා.
අපි ඌට කතා කළත්
එළියෙදි ඌ හැසුරුණේ
අපිව නාන්දුනන ගාණට...
ඒත් සුපුරුදු විදියට
ඌ හැන්දෑවට ආපහු ඇවිත්
පොඩි දෙන්නා එක්ක සෙල්ලම් අළා.

පෙරේදා හවස් ඌ ආවම
දෝණි ඌ ගෙනිහින්
කෑම ලෑල්ල තියන ගහේ තියලා.
ඌ ගහට නැග්ගා.. රෑ ආවෙ නෑ.
ඒත් ඊයෙ උදේ ආවා.

අද ඌ එන කොට පොඩි දෙන්නා
කෑම ලෑල්ල ළඟට ගිහින්
ඌට කිරි දීලා.. අදත් ආවෙ නෑ.
ආයෙ නො එන්නත් පුලුවන්.
ලෝකයට හුරු නිසා
දැන් ඌ නො ආවත් කමක් නෑ..
අපිට පාලුවක් දැනුණාට
අපි ඔක්කොම උගේ කැමැත්තට එකඟයි.

දරුවෙක් මේ විදියට ලෝකයට හුරු වෙලා
ස්වාධීන වෙනවා දකින්න ලැබෙනවා නම්
දෙමව්පියන්ට මොන තරම් ලොකු සතුටක් වෙයිද?

===================================
අද 2016 අගෝස්තු 31
ටින් ටින්
පසු ගිය වසරක් පුරාම
දවසට දෙතුන් වතාවක් ඇවිත්
දෙන දෙයක් අතටම ඇවිත් කාල යනවා.
ඉඳහිට දිනක නොආවොත්
නැවත එන එකක් නෑ කියා
අපි හිත හදා ගන්නවා.

Tuesday, September 22, 2015

රාගය කාටවත්ම පාලනය කරන්න බෑ.



Chamalka Alwis
අතුලගෙ දුව අවුරුදු 13-14 වෙද්දි කොල්ලෙක් එක්ක යාලු නොවුනොත් බලන්නකෝ---------------------------------------------------------.
එයා දැනටත් ලැදි කොල්ලො ඉන්නවා.
මම කෙල්ලො ගැන හිතුවෙ
අම්මා සුරංගනා කතා කියද්දි..

මට ඇගේ හිත පාලනය කරන්න බෑ.
හිත් වැඩ කරන විදියත්
හිත අනුව අපි නොමග යන විදියත්
දුක් නොවිඳ ඉන්න නම්
හිත පවත්වාගත යුතු විදියත්
කියා දෙන්න විතරයි පුලුවන්.
මාර්ග විස්තරය දුන්නට පස්සෙ
කැලේ ගිහින් අනතුරට ලක්වුණත්
මම ඒ ගැන පසුතැවෙන්නෙ නෑ.

සත්වයෙක් විදියට ජීවත්වෙන්න අවශ්‍ය රාගය
කාටවත්ම පාලනය කරන්න බෑ.
රාගයෙන් එන පෙළඹවීමට වහල් නොවී
ආත්ම දමනයෙන් හෝ
රාගයට උපේක්ෂාවෙන් ඉන්නයි
මම ඔවුන්ට පුහුණු කරන්නෙ.
ඒක කොල්ලන්ට අදාළව කරන්න කලින්
ආහාරවලට, ලස්සණ රූප වලට,
ප්‍රිය කරන චිත්‍රපටි වලට,
නෑදෑ හිතවතුන්ට අදාළව
රාගයෙන් එන පෙළඹවීමට වහල් නොවී
ආත්ම දමනයෙන් හෝ
රාගයට උපේක්ෂාවෙන් ඉන්නයි
පුහුණු කළ යුත්තෙ.

ඔවුන් උපන්දා සිටම අපි ඒක කරනවා.

දෝණි ඉපදුණේ මගේ අත උඩට
ත්‍රී වීල් එකේ රෝහලට යද්දි.
මම ඇගේ බෙල්ල වටේ එතිලා තිබුණ
පෙකණි වැල සීරුවෙන් ගලවලා
ජීවත් වෙනවාද කියා බලන්න
මගේ ඇඟීල ඇගේ අතට තිව්වාම
ඇය ඒ ඇඟිල්ල අල්ලා ගත්තා..
කකුල්දෙකෙන් උස්සන්න, තට්ටු කරන්න
අවශ්‍ය වුණේ නෑ.
අපි රෝහලට ගියේ තවත් විනාඩි
10කට 15කට පසුවයි..

ඔවුන් ඉල්ලන කිසිම දෙයක්
ඔවුන්ට එකවර ලැබෙන්නෙ නෑ.
තියන දේවල් එකවර ඉවත් කරනවා.
සොබා දහමට ඔවුන් හුරුවෙන්නෙ අපෙන්.
අපි සොබා දහමට පිටුපාල
ඔවුන්ගෙ පැතුම් වහ වහා ඉටු අරන්නෙ නෑ.

කාක්කෙක් අල්ලගෙන යද්දි
නිදහස් කරගත් ලේනෙක්
පසු ගිය දිනවල ඔවුන්ට ලැබුණා.
ඔවුන් ඌ සමග විශාල කාලය ගත කළා.
රෑ නින්දට කූඩුවට දැමීම හැර
ජනෙ වල කර්ට්න් වල සහ ග්‍රිල්වලට වෙලා
උගේ ජීවිතය ගත වෙනවා.
ඌ ඊයෙ රෑ නැති වුණා.
ඔවුන් දෙදෙනා මූලිකව ගේ වටේ හෙව්වා.
ඌ ලොකුවෙලා නැතිවුණා නම් කමක් නෑ.. දෝණි කිව්වා.
පුතා කවි ලියන්න උත්සාහ කළා.

දෙන්නම පොඩ්ඩක් ඇඬුවා.
පුතා පෙරේදා පාසලෙන් ඉගෙන ගත්ත
තණ්හාය ජායතී සෝඕ ගාථාවට
මේ සිදුවීම ගැලපුණා.
සම්බන්ධය වැටහුණ වෙලාවෙ
පුතාගෙ ඇස් දිළිසුණා.

අද උදේ ඔවුන් පාසැල් යන්න
එළියට බැස්ස වෙලාවෙම වගේ
ලේනා නැවත ආවා.
ඒ බව කිව්වාම පුතා
දුවලා ඇවිත් බලල ගියා.
දෝණි ආවෙවත් නෑ.
ඌ ඉන්නවා නම් ඇති..කියා
ඇය හිතුවා නම් මම සතුටුයි..
---------------------------------------
Tin Tin අපේ සුරතලා.